Sign In / Login
Register
Education

කොරෝනා කාලෙ පාසල් යන දරුවන්ට

July 21st, 2021 810 VIEWS

මේ ගෙවෙන්නේ මුලු මහත් ලෝකයම සෞඛ්‍ය සම්බන්ධව වඩාත් අවධානය යොමුකරන කාලයකි.2020 වසර තරම් දෑත් පිරිසිදු කිරීම සහ අපේ පෞද්ගලික චර්‍යාවන්ගේ ඇති සෞඛ්‍ය සම්පන්න බව පිළිබඳව අන් කවරදාකවත් කතා නොකරන්නට ඇති.ඒ සමස්ත ලෝකයේම ලොකු කුඩා,තරුණ මහලු,ධනවත් දිළිඳු කිසිදු භේදයකින් තොරව එක සේ තවමත් මුහුණදෙමින් සිටින කොරෝනා වසංගතය නිසාවෙනි.චීනයෙන් ආරම්භ වූ මෙය ආර්ථික,සමාජීය වශයෙන් සමස්ත ලෝකයම අඩපණ කරමින් දිනෙන් දින මරුමුවට ගෙන යන මිනිස් ජීවිත ලක්ෂ ගණනකි.

මෙවන් තත්වයක් යටතේ වුවද රැකියාවන්හි නිරත වන වෘත්තිකයන්ට ද,පාසල් සහ උසස් අධ්‍යාපනය හදාරන දරුවන්ට ද ගෙයින් එළියට බැස සාමාන්‍ය පරිදි තම කටයුතු කිරීමට සිදුව ඇත.ඒ කොරෝනාවට බයේ සැඟවීම වෙනුවට ජීවිතයට මුහුණ දීමට ඇති අවශ්‍යතාවය නිසාවෙනි.මෙවන් කාලයක නුදුරේම ආරම්භ වන පාසල් කාලය වෙනුවෙන් අපි අපේ දරුවන් සූදානම් කරන්නෙ කෙසේද? ආරක්ෂාව සහ පරෙස්සම අංක එක බව වැඩිහිටි ඔබ ඔවුන්ට පැවසිය යුතුමය.

ධ්‍යාපනය සහ සෞඛ්‍ය :ලෝකය දෙවැනි කොවිඩ් රැල්ලක් පිළිබඳව ද කතා කරන කාලයක මෙලෙස තෙමසකටත් වඩා දීර්ඝ කාලයකට පසුව පාසල් විවෘත වන්නේ අධ්‍යාපනය ද සෞඛ්‍ය තරම්ම වැදගත් නිසාවෙනි.එහිදී පෙර ලෙස නොව විධිමත් සෞඛ්‍ය ක්‍රමවේද රැසක් ක්‍රියාත්මකව පවතී.සෞඛ්‍ය අංශ සහ ආරක්ෂක අංශ ඔවුන්ගේ කාර්‍ය අකුරටම සිදුකරමින් සෞඛ්‍ය සම්පන්න ලෙස ඉගෙනුම් ඉගැන්වීම් පරිසරයක් පාසල තුළ දැනටමත් ගොඩනගා අවසන්.නමුත් ඔබේ දරුවාගේ වගකීම ඔබටම හැර තවකෙකුට භාරදිය නොහැකි බව සිහිතබා ගැනීම අතිශය වැදගත්.

ඔබේ දරුවාගේ වගකීම ඔබටයි:පොත්පත්වලට අමතරව දරුවන්ගේ බෑගයට අනිවාර්යයෙන්ම දැමිය යුතු දේවල් කිහිපයකි.එනම් දරුවන්ට සුදුසු දෑත් සේදුම්කාරක,ඔවුන්ට පහසු සහ සුදුසු මුඛ ආවරණ,එක් වරක් පාවිච්චි කිරීමෙන් පසු ඉවතලන අත්පිස්නා යන මූලික දේවල් සැපයීම ඔබේ වගකීමකි.එමෙන්ම අදාළ ද්‍රව්‍ය පාවිච්චි කරන ආකාරයත් ඔවුන්ට ඉගැන්විය යුතුය.

දරුවන් තුළ ආකල්ප සහ පුරුදු වගා කරන්න:වැඩිහිටියන්ට සාපේක්ෂව බෙදාහදා ගැනීම ගැන දරුවන්ට ඇත්තේ සුවිශේෂී පෙළඹුමකි.ඒ අනුව ආහාර බෙදාහදා ගැනීම,වතුර බෝතලය පවා යහළුවන් සමග එකට පාවිච්චි කිරීම දැකිය හැකිය.ඒවා හොඳ පුරුදු වුවත් මේ ඊට කාලය නොවන බව ඔබ ඔවුන්ට පැවසිය යුතුය.

නිරායාසයෙන්ම මුහුණට,මුඛයට,ඇස්වලට අත් සහ ඇඟිලි,නියපොතු යැවීම දරුවන්ගේ පුරුද්දකි.එයත් නුසුදුසු බව ඔවුන්ට පැහැදිලි කර දෙන්න.එමෙන්ම මුඛ ආවරණ පැළඳීමේ වැදගත්කම,දෑත් පිරිසිදු කිරීමේ වැදගත්කම,භාවිතා කළ ද්‍රව්‍ය ක්‍රමවත්ව බැහැර කිරීමේ වැදගත්කම දරුවන්ට පවසන්න.වැසිකිළි සම්බන්ධ පුරුදු පිළිබඳව හැකි තරම් දරුවන්ව දැනුවත් කරන්න.

පැන්සල්,මකන,පොත්පත් හුවමාරු නොකර තමන්ගේ දරුවාට අවශ්‍ය දෑ සපුරාලීම ඔබේ යුතුකමකි.රංචු ලෙස ගැවසීම,එකිනෙකා හා සමීපව කතා කිරීම,සෙල්ලම් කිරීම පවා ප්‍රවේසමෙන් කළ යුතු බව පෙන්වාදෙන්න.පාසල් බස් රථය,වෙනදා ගැවසුණු ආපනශාලා පෙර පුරුදු තැන් නොවන බවත් ඒවා තුළ කටයුතු කළ යුතු ආකාරය පිළිබඳවත් ඔබ ඔබේ දරුවන් පුහුණු කරවන්න.

එමෙන්ම පාසල් නිමව නිවසට පැමිණෙන දරුවාව මනාව පිරිසිදු කිරීමත් ඔවුන්ගේ ඇඳුම් පැළඳුම් සහ සපත්තු මේස් යනාදියත් හොඳින් සෝදා වියළීම දිනපතා කළ යුතු බවත් අනිවාර්යයෙන්ම සිහිතබා ගන්න.

ඊට අමතරව ඔබේ දරුවා ආශ්‍රය කරන පුද්ගලයින්,යහළුවන් පිළිබඳව ද ඔබ දැනුවත් වන්න.

කොව්ඩ් ගැන දරුවන් දැනුවත් කරන්න :කොරෝනා නම් රෝගයක් ඇති බව පමණක් ඇතැම් විට ඔබේ දරුවා දන්නවා විය හැකිය.එසේ නම් එහි භයානකකම පිළිබඳව ඔවුන්ව දැනුවත් කිරීම ඔබේ වගකීමකි.ඔවුන්ට තේරුම්ගත හැකි පරිදි ලෝකයේ පවතින තත්වය ඔබ ඔවුන්ට පැහැදිලි කර දෙන්න.

අධ්‍යාපනය ද සෞඛ්‍ය ද යන කාරණාවන් අතර දෙමාපියන් ලෙස ඔබත් අසරණව ඇති.විභාග මත අනාගතය තීරණය වන අපේ වැනි රටක සෞඛ්‍ය හා කරට කර අධ්‍යාපනය ද සිටියි.එසේ නම් සුළු හෝ අසනීපයකින් ඔබේ දරුවා පෙළෙනවා නම් ඊට අදාළ ප්‍රතිකාර ලබාදීමට ද ඔබ දෙවරක් නොසිතන්න.ඔබේ දරුවා හොඳින් ඉගෙනගැනීමට අවශ්‍ය නම් ඔවුන් හොඳ සෞඛ්‍යමත් දරුවන් ලෙස සිටිය යුතු බවත් අමතක නොකරන්න.

Related Articles

The Importance of Learning English in Today's World
The Importance of the O/L Exam in Sri Lanka
Important of  Degree for a job

LEAVE A REPLY